පසුගිය ජූනි 16 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ දිවයිනේ මුහුදු සීමාව ආවරණය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුම් මාලාවකදී, නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර, උතුරු සහ වයඹ නාවික විධාන ඒකාබද්ධව සූඩයිකුඩා, ස්විට් වේ, උඩුත්තුරායි, වෙත්තලකේනි, කඩ්ඩෙයිකාඩු, වලෙයි සහ සිලාවතුර සාවාරිපුරම් යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇත.
මෙම වැටලීම්වලදී සැකකරුවන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 10ක්, කැනෝ යාත්‍රා 2ක්, නීතිවිරෝධී ධීවර ආම්පන්න සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය රැසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම යන ප්‍රදේශවල ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ මරුදන්කේනි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
















