ජර්මනියේ ‘Alternative for Germany’ (AfD) නැමැති අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂයේ වාර්ෂික සමුළුව කඩාකප්පල් කිරීම සඳහා සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ වාමාංශික පක්ෂවලට අයත් 20,000කට අධික පිරිසක් එරට් අර්ෆර්ට් (Erfurt) නුවරට රැස්ව දැවැන්ත විරෝධතාවක නිරත වී සිටිති.
සමුළුව පැවැත්වෙන ස්ථානයට යන ප්රධාන මාර්ග රැසක් විරෝධතාකරුවන් විසින් අවහිර කර ඇති අතර, සමහර පිරිස් මහා මාර්ග පාලම් මතින් කඹ ආධාරයෙන් පහළට බැස ප්රවාහන කටයුතු අඩාල කර තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා ජර්මනිය පුරා විසිරී සිටින කැරලි මර්දන පොලිස් බලකායන් විශාල වශයෙන් කැඳවා ඇති අතර, එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර යම් යම් ගැටුම් ද වාර්තා වී ඇත. එසේ වුවද, නියමිත වේලාවට සමුළුව ආරම්භ කිරීමට පක්ෂ නියෝජිතයන් සමත්ව තිබේ.
වත්මන් ජර්මන් චාන්සලර් ෆ්රීඩ්රික් මර්ස්ගේ (Friedrich Merz) කොන්සර්වේටිව් පාලනයට එරෙහිව පවතින ආර්ථික පීඩනය හමුවේ, මෙම AfD පක්ෂය ජනප්රියත්වයෙන් ඉදිරියට පැමිණ ඇත. ඇතැම් ප්රාන්තවල ඔවුන් සියයට 42ක වැනි ඉහළ මනාප ප්රතිශතයක් ලබාගෙන ඇති අතර, ඉදිරි මැතිවරණවලදී ඔවුන් බලයට පත්වීමේ දැඩි අවදානමක් පවතී. නාසි පාලනයෙන් පසු අන්ත දක්ෂිණාංශික පක්ෂයක් ජර්මනියේ බලය ලබාගතහොත් එය රටේ ප්රජාතන්ත්රවාදයට දැඩි තර්ජනයක් වන බැවින්, මෙම පක්ෂය වහාම තහනම් කරන ලෙස විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටියි.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්
















