විදේශගතව ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සඳහා ඡන්ද බලය ලබාදීමේ ක්‍රියාවලිය 2026 වසර අවසානයට පෙර සාර්ථකව අවසන් කිරීමේ අරමුණින් රජය පුළුල් සූදානමක නිරත වේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මූලික රාමුව සඳහා අනුමැතිය ලැබී ඇති අතර, ආරක්ෂිත සහ ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබේ.
මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේද හතරක් සහ ලියාපදිංචි වීමේ ක්‍රමවේද දෙකක් යෝජනා කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල පවතින රටවල් 17ක පමණක් මැතිවරණ පැවැත්විය හැකි වුවද, දූත මණ්ඩල නොමැති රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහාද ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මේ වන විට ප්රමුඛ අභියෝගයක් වී තිබේ.
විශේෂඥ කමිටුව විසින් යෝජනා කර ඇති ප්‍රධාන අංග කිහිපයක් පහත දැක්වේ:
ඡන්ද ලියාපදිංචිය: ශ්‍රී ලංකාවේ වෙසෙන පවුලේ සාමාජිකයන් හරහා ග්‍රාම නිලධාරි සහතිකය මත ලියාපදිංචි වීම හෝ අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඉල්ලුම්පත් යොමු කිරීමේ ක්‍රමවේද දෙකක් යෝජනා කර ඇත.
ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රම: ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලදී ඡන්දය දීම, නිශ්චිත මධ්‍යස්ථානවලදී අන්තර්ජාලය හරහා ඡන්දය දීම, තැපැල් ඡන්දය සහ විදේශගත ඡන්දදායකයා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන “ප්‍රොක්සි” (proxy) ක්‍රමය යන විකල්ප හතර ඉදිරිපත් කර ඇත.
ආරක්ෂාව සහ අධීක්ෂණය: දේශීය මැතිවරණවලට සමාන ආරක්ෂක ක්‍රියා පටිපාටි, ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය මගින් අනන්‍යතාව තහවුරු කිරීම සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම ස්වාධීන නිරීක්ෂකයන්ගේ අධීක්ෂණය මත මැතිවරණය පැවැත්වීමට යෝජිතය.
කෙසේ වෙතත්, මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම අයිතිය ලබාදීම අගය කරන අතරම, දේශීයව මැතිවරණවලට මුහුණ දෙන අභියෝග විසඳීම සඳහා ද ප්‍රතිසංස්කරණ සිදු කිරීම වැදගත් බවයි.
















