ඇමෙරිකා එක්සත් ජනපදයේ 250 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් වොෂින්ටන් නුවර ජාතික මෝල් (National Mall) භූමියේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයට ගිගුරුම් සහිත වැසි සහ අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වුවද, කුමන බාධක පැමිණියත් තමන් එම සැමරුම් උත්සවයේදී කතාව පවත්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ස්ථානයට රැස්ව සිටි පිරිස ඉවත් කිරීමට බලධාරීන් මුලින් පියවර ගත්තද, ‘ෆ්‍රීඩම් 250′ සංවිධානය පසුව දැනුම් දුන්නේ ජනතාවට නැවත එම ස්ථානයට පැමිණිය හැකි බවත්, ජනාධිපතිවරයාගේ කතාව කලින් සැලසුම් කළ පරිදි නොව රාත්‍රී 11:00ට (පෙර සැළසුමට වඩා පැයක ප්‍රමාදයකින්) පැවැත්වෙන බවත්ය.
“කුමන බාධක තිබුණත් මම එතැනට එනවා. අද සෙනසුරාදා රාත්‍රියක්, අපි ප්‍රමාද වී හෝ මේ සැමරුම සතුටින් සමරමු” යනුවෙන් ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් නිකුත් කර තිබුණි.
මෙම සැමරුම් උත්සවය දේශපාලනීකරණය වී ඇති බවට මත පළවෙමින් පවතින අතර, ජාතික මෝල් භූමිය තුළ ‘මහා ඇමෙරිකානු ප්‍රදර්ශනය’ (Great American State Fair) ඇතුළු දේශපාලන සහ ආරක්ෂක අංශවල ප්‍රදර්ශන කුටි ස්ථාපිත කර ඇත. මේ අතර, ‘පැට්‍රියට් ෆ්‍රන්ට්’ (Patriot Front) වැනි සුදු ජාතිවාදී සංවිධානවල සාමාජිකයන්ද උත්සව භූමියට පැමිණ සිටීම විශේෂත්වයකි.
පසුගිය දින කිහිපය තුළ පැවති අධික උෂ්ණත්වය හේතුවෙන් උත්සවයේ ඇතැම් අංග අවලංගු කිරීමට සිදුවූ අතර, මෙම සැමරුම අධික ලෙස දේශපාලනීකරණය වී ඇති බව රොයිටර්/ඉප්සෝස් මත විමසුමකට අනුව ඇමෙරිකානුවන් බහුතරයකගේ මතය වී තිබේ. 250 වන සංවත්සරය වෙනුවෙන් සිදුකළ නගර ප්‍රතිසංස්කරණ කටයුතු අතර ලින්කන් ස්මාරකයේ ජල තටාකය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවද වාර්තා වේ.
















