උතුරු කොරියානු නායක කිම් ජොන් අන් විසින් පසුගිය සිකුරාදා දින අලුතින් ඉදිකරන ලද ටොන් 5,000ක නාවික විනාශකාරී නෞකාවක් වන ‘කැන්ග් කොන්’ නෞකාවේ සිදුකළ උපායමාර්ගික කෲස් මිසයිලයක් අත්හදා බැලීම සහ එහි සටන් පද්ධති ඇගයීම් නිරීක්ෂණය කර තිබේ.
මෙම නෞකාවේ සටන් පද්ධති පරීක්ෂා කිරීමේ කොටසක් ලෙස සිදුකළ මෙම අත්හදා බැලීම්වලට නව යුධ නෞකාවේ ඉලක්ක හඳුනාගැනීමේ සහ තොරතුරු සැකසීමේ හැකියාවන් පරීක්ෂා කිරීම, ඒකාබද්ධ ගිනි බල පද්ධති, නාවික කාලතුවක්කු සහ ස්වයංක්‍රීය කාලතුවක්කු පරීක්ෂා කිරීම මෙන්ම ඉලෙක්ට්‍රොනික යුධ උපකරණ සහ ප්‍රති-නාවික, ප්‍රති-සබ්මැරීන් සහ ගුවන් ආරක්ෂක පද්ධති ඇගයීම ඇතුළත් විය.
මෙම පරීක්ෂණවලින් අනතුරුව අදහස් දැක්වූ කිම් ජොන් අන් මහතා, ආයුධ නිෂ්පාදනයේ මෑත කාලීන දියුණුව අගය කර ඇති අතර, රටේ යුධ වැළැක්වීමේ හැකියාවන් සහ සටන් හැකියාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම, මෙම නෞකාවේ අත්හදා බැලීමේ ක්‍රියාවලිය වගකීමෙන් යුතුව සම්පූර්ණ කර මාස දෙකක් ඇතුළත එය නාවික හමුදා සේවයට එක් කරන ලෙස ද ඔහු නියෝග කර තිබේ.
පසුගිය වසරේදී මෙම නෞකාව දියත් කිරීමේ උත්සවයකදී අර්ධ වශයෙන් පෙරළී යාම නිසා හානි සිදුවී තිබූ අතර, ඉන්පසු එය අලුත්වැඩියා කරන ලදී. පසුගිය ජුනි මස අගදී උතුරු කොරියාව විසින් ටොන් 5,000ක බරින් යුත් ‘චෝ හියොන්’ නෞකාව ද සේවයට එක් කරගත් අතර, එය තම නාවික හමුදාවේ අලුත්වැඩියා කිරීමේ පුළුල් වැඩසටහනේ කොටසක් බව ඔවුන් පවසයි.
කිම් ජොන් අන් මහතා ඉදිරි වසර පහ තුළ වාර්ෂිකව මෙවැනි නෞකා දෙකක් බැගින් ඉදිකිරීමටත්, ඊට අමතරව ටොන් 10,000ක බරින් යුත් විශාල යුධ නෞකා ඉදිකිරීමටත් සැලසුම් කර ඇත. තම සන්නද්ධ හමුදාවේ දුර්වලතම අංශය ලෙස නාවික හමුදාව හඳුනාගෙන සිටින හෙයින්, එය ශක්තිමත් කිරීමට නායකයා විශේෂ අවධානයක් යොමු කර තිබේ.
















