මෙරට රාජ්‍ය සේවයේ පත්වීම් ලබාදීමේදී දශක ගණනාවක් පුරා පැවැති සාම්ප්‍රදායික දේශපාලන හිතවත්කම් සහ දූෂිත ක්‍රමවේදයන් මුළුමනින්ම බැහැර කරමින්, විනිවිදභාවයෙන් යුත් නව පරිපාලන ආදර්ශයක් සැපයීමට රජය පියවර ගෙන තිබේ. ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ රෝහල්වල පවතින සේවක හිඟය අවම කිරීම අරමුණු කරගනිමින්, සෞඛ්‍ය කාර්‌ය සහායක (SKS) තනතුර සඳහා බඳවාගත් 627 දෙනෙකුට නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (04) මරදාන ටවර් පරිශ්‍රයේදී සිදු කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී අවධාරණය කෙරුණේ, මෙම බඳවාගැනීම විවෘත අයදුම්පත් කැඳවීම සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් මත පමණක් සිදු කරමින් මෙරට රාජ්‍ය සේවා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇති බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් 08 වනදා කැඳවන ලද අයදුම්පත් 91,473ක් අතුරින් සුදුසුකම් සපුරා තිබූ 88,736 දෙනෙකු අතුරින් ප්‍රථම කණ්ඩායම ලෙස මෙම 627 දෙනා තෝරාගෙන ඇති අතර, ඔවුන් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය. මෙම පත්වීම්ලාභීන් වෙනුවෙන් එළඹෙන ජූලි 7 වනදා සිට 9 වනදා දක්වා තෙදින න්‍යාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් සොයිසා කාන්තා රෝහල, රිජ්වේ ආර්‍යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහලේදී පැවැත්වීමට අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන කේ.පී. යේගචන්ද්‍ර සහ හර්ෂනී සිරිනාම යන මහත්ම මහත්මීන් ඇතුළු ඉහළ පරිපාලන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ක්‍රියාවලිය, රාජ්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැඟීමේ වැදගත් පියවරකි.
මෙම විධිමත් බඳවාගැනීමේ ක්‍රියාවලිය හරහා රෝහල් පද්ධතිය තුළ පවතින සෞඛ්‍ය කාර්‌ය සහායක මානව සම්පත් හිඟය සැලකිය යුතු ලෙස අවම වන අතර, එමඟින් රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ වේගය, කාර්‌යක්ෂමතාව සහ ප්‍රතිචාරාත්මකභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. දේශපාලන බලපෑම්වලින් තොරව සැබෑ පුරප්පාඩු මත පමණක් පදනම්ව සිදුකළ මෙම බඳවාගැනීම හේතුවෙන් රෝගී ජනතාවට වඩාත් සුරක්ෂිත, කඩිනම් සහ මානුෂීය සේවාවක් සැපයීමට අවශ්‍ය වටපිටාව නිර්‌මාණය වනු ඇත. ඉදිරියේදී සෙසු රාජ්‍ය අංශයන්හි ද මෙවැනි කුසලතා පදනම් කරගත් විනිවිදභාවයකින් යුත් බඳවාගැනීම් ක්‍රමවේදයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, රටේ සමස්ත පරිපාලන ව්‍යුහයේ ගුණාත්මක වර්ධනයට මෙන්ම ආර්ථික ස්ථාවරත්වයට ද සෘජුවම දායක වනු නොඅනුමානය.
















