ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට, විශේෂයෙන්ම අවදානමට සහ ආන්තීකරණයට ලක්වූ කණ්ඩායම්වලට යුක්තියට ප්‍රවේශ වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් සෑම වසරකම ජූලි මස 06 වැනි දින ‘ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය’ ලෙස සැමරීමට රජය තීරණය කර ඇත. මෙම දිනයට සමගාමීව සංවිධානය කළ පළමු ජාතික නීති ආධාර දින සැමරුම් උළෙල “කිසිවෙකු අත් නොහරින යුක්තියට ප්‍රවේශයක්” යන තේමාව යටතේ අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන දේශනය හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් පවත්වන ලදී. ජාතික නීති ආධාර දිනය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් ද මෙහිදී එළිදක්වන ලදී. උත්සවය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මෙරට නියෝජිත අෂුෂා කුබෝටා මහත්මිය, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විවේකානන්දන් පුවිතරන් මහතා සහ එහි අධ්‍යක්ෂ ජනරාල් රුක්මන් ගමගේ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
















