සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනටම මුල් තැන දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කෙරෙන “කොළඹ ජාත්‍යන්තර සාහිත්‍ය මංගල්‍යය 2026″ (Colombo Literary Festival 2026) එළැඹෙන ජූලි මස 24 දින සිට 29 දින දක්වා කොළඹ 07, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙරට ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතන පහක අධ්‍යක්ෂවරුන්ගෙන් සැදුම්ලත් Colombo Literary Festival (Pvt) Ltd ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම උළෙල දින 6ක් පුරා පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමට නියමිතයි.
බුද්ධිමය සංවාද හා සාකච්ඡා – දෙස් විදෙස් කීර්තිමත් ලේඛකයින්, විචාරකයින් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සාහිත්‍යයේ වත්මන් ප්‍රවණතා සහ සමාජ-දේශපාලනික බලපෑම් පිළිබඳ ගැඹුරු සංවාද මණ්ඩප පැවැත්වේ.
පොත් ප්‍රදර්ශනය – උසස් ගණයේ දේශීය හා ජාත්‍යන්තර කෘති එකම වහලක් යටින් පරිශීලනය කිරීමට සහ මිලදී ගැනීමට පාඨකයින්ට අවස්ථාව හිමි වේ.
ජාත්‍යන්තර චිත්‍රපට ප්‍රදර්ශනය – සාහිත්‍ය උළෙලට සමගාමීව සිනමා ලෝලීන් වෙනුවෙන් විශේෂ චිත්‍රපට දැක්මක් කොළඹ 07, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
සංගීතමය වැඩසටහන් – සාහිත්‍යමය අත්දැකීමට රස වින්දනයක් එක් කරමින් සොඳුරු සංගීතමය වැඩසටහන් ද මෙහිදී ඉදිරිපත් කෙරේ.
මෙම සාහිත්‍ය උළෙල මෙරට පුළුල් සංස්කෘතික හා බුද්ධිමය සංවාද මණ්ඩපයක් බවට පත් කරනු ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි.
















