ශ්‍රී ලංකාවේ කසකස්තාන ජනරජයේ තානාපති අතිගරු සර්ගි වික්ටොරොව් මහතා අද (ජූලි 07) පරිසර අමාත්‍යාංශයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. මෙම හමුව පවත්වා ඇත්තේ පසුගියදා කසකස්තානයේ පැවති පාරිසරික සමුළුවේ සාකච්ඡාවල පසු විපරමක් ලෙසින් වන අතර, දෙරට අතර පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙහි අරමුණ විය.
සාකච්ඡාවේදී කසකස්තාන ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ජාත්‍යන්තර ජල ආයතනයක් (International Water Institute) ස්ථාපිත කිරීම පිළිබඳව තානාපතිවරයා අමාත්‍යවරයා දැනුවත් කළේය. මෙම ආයතනය ජල සම්පත් තිරසාර කළමනාකරණය, දැනුම හුවමාරුව, ධාරිතා සංවර්ධනය සහ ජලය සම්බන්ධ ගෝලීය අභියෝගවලට මුහුණදීම අරමුණු කර ගනී. එම සංකල්ප පත්‍රිකාව (Draft Concept Note) සැකසීම සඳහා පැවැත්වෙන උපදේශන සහ නිල සාකච්ඡාවලට එක්වන ලෙස තානාපතිවරයා ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර, මෙම සංකල්පය 2026 දෙසැම්බර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජල සමුළුව (UN Water Conference) වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කසකස්තානය ගෝලීය ජල සම්පත් කළමනාකරණය සඳහා ගෙන යන ප්‍රයත්නයන් අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා විසින් අගය කළ අතර, පාරිසරික අභියෝගවලට විසඳුම් සෙවීමට ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම නැවත අවධාරණය කළේය. සාකච්ඡාව අවසානයේදී පරිසර සංරක්ෂණය සහ තිරසාර ජල සම්පත් කළමනාකරණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.
















