පසුගිය සඳුදා රුසියාව විසින් එල්ල කරන ලද විනාශකාරී මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පසුව, යුක්රේන වැසියන් ඊළඟ ප්‍රහාරය කවදා එල්ල වේදැයි දැඩි බියකින් සහ අවිශ්වාසයකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අගනුවර වන කියෙව් (Kyiv) නුවර අවට පදිංචි වැසියන් පවසන්නේ පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තම දරුවන්ද සමඟ ආරක්ෂිත බංකර් තුළ රැය පහන් කිරීමට සිදුව ඇති බවයි.
රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දෙන පරිදි, රුසියාව විසින් යුක්රේනය ඉලක්ක කර බැලස්ටික් මිසයිල (Ballistic Missiles) ප්‍රහාර එල්ල කිරීම සීඝ්‍රයෙන් වැඩි කර ඇතත්, ඒවා මර්දනය කිරීම සඳහා අමෙරිකාව නිෂ්පාදනය කරන ලද ආරක්ෂක මිසයිල පද්ධතිවල (Interceptors) දැඩි හිඟයකට යුක්රේනය මුහුණ දී සිටියි. මේ හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත නැටෝ (NATO) රාජ්‍ය තාන්ත්‍රික සමුළුවේදී යුක්රේන ජනාධිපති ව්ලැඩිමියර් සෙලෙන්ස්කි විසින් ජාත්‍යන්තරයෙන් හදිසි ආරක්ෂක සහය ඉල්ලා සිටීමට නියමිතව ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















