අමෙරිකාව විසින් පනවනු ලැබූ දැඩි ඉන්ධන සම්බාධක සහ බලශක්ති අර්බුදය හමුවේ කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී රට පුරා අඳුරු තත්ත්වයක් හටගෙන ඇති බව එරට බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. වෙනිසියුලාවේ ඉන්ධන සැපයුම මත ප්‍රධාන වශයෙන් යැපෙන කියුබාවට මෙම ඉන්ධන හිඟය දැඩිව බලපා ඇත්තේ අමෙරිකානු හමුදාව වෙනිසියුලාව ආක්‍රමණය කිරීමෙන් පසුවය.
වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට බොරතෙල් අපනයනයට මැදිහත් වූ අමෙරිකානු රජය, කියුබාවට කෙරෙන ඉන්ධන නැව්ගත කිරීම් නතර කිරීමට පියවර ගත්තේය. මේ හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී ද අවස්ථා දෙකකදී කියුබානු විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය විය. පවතින බරපතළ තත්ත්වය මත කියුබාවේ අධ්‍යාපනය, ප්‍රවාහනය සහ රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් රැසක් අඩාල වී ඇති අතර, මේ සඳහා අමෙරිකාව සෘජුවම වගකිව යුතු බවට කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් (Miguel Díaz-Canel) චෝදනා කරයි. පසුගිය සඳුදා සිදු වූ බිඳ වැටීමෙන් පසු විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළද, මේ වන විට සපුරාලීමට හැකි වී ඇත්තේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 1%ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණි.














