පළමුවරට ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ ජපාන අගමැතිනිය සනායි ටකේචි (Sanae Takaichi) සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ජපාන මුදල් ඒකකයට අනුව යෙන් ට්‍රිලියන දෙකකට (ඇමෙරිකානු ඩොලර් බිලියන 12කට) අධික වටිනාකමකින් යුත් ගිවිසුම් 120කට ආසන්න ප්‍රමාණයකට අත්සන් තබා ඇති බව එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තා කරයි. 16 වැනි ඉන්දු – ජපාන වාර්ෂික සමුළුව ඉලක්ක කරමින් පැවැත්වුණු මෙම සංචාරයේදී පෞද්ගලික අංශයේ ආයෝජන මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI), ආරක්ෂක සහ බලශක්ති වැනි ඉතා තීරණාත්මක ක්ෂේත්‍ර රැසක් සඳහා ගිවිසුම් එළඹ තිබේ.
මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී ඉන්දීය අගමැතිවරයා ජපාන අගමැතිනියව “තම සොහොයුරිය” ලෙස ආමන්ත්‍රණය කරමින් පිළිගැනීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් විය. එහිදී ඇයද ඉන්දීය අගමැතිවරයාව තමන්ගේ “වැඩිමහල් සොහොයුරෙකු” ලෙස සලකන බව පවසා ඇතැයි ඉන්දියාවේ එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කළේය. ඉන්දු – පැසිෆික් කලාපයේ සමීප සහයෝගිතාව තුළින් දෙරට අතර ආර්ථික හා උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.














