ශිෂ්ටසම්පන්න රාජ්‍යයක “ඇඩ්‍රස් නැති” අපරාධ තිබෙන්නට නොහැකිය. එසේ තිබේ නම්, යුක්තිගරුක පුරවැසියන් කල්පනා කළ යුත්තේ එවැනි පිරිහුණු සමාජයකදී ඔවුන්ටද, ඔවුන්ගේ සමීපතයෙකුටද, නැතහොත් ඔවුන්ගේ දේපළකටද එම ඉරණමම අත්වීමට හැකියාවක් ඇති බවය. එසේම එකී අපරාධය සිදුකරන අපරාධකරුවන්ටද නීතියෙන් සැඟවී යාමට හැකියාවක් ලැබෙනු ඇති බවය. අවාසනාවට එවැනි සවිඥානකත්වයක් පේරාදෙණියේ තිබුණේ නැත.
මෙම වෑන් රථය ගිනි ගෙන විනාශ වීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතුව තිබුණේ එම වෑන් රථයේ මූල්‍යමය වටිනාකම පමණක් නොවේ. කීර්තිමත් විශ්වවිද්‍යාලයක, පරිපාලන සංකීර්ණයේ තිබූ රජයේ දේපළක් වන වෑන් රථයක් ගිනි තබා විනාශ කිරීමට තරම් අපරාධකරුවන් ධෛර්යමත් වීමත්, එකී අපරාධය කළවුන්ට නීතියෙන් සැඟවී සිටීමට හැකියාව ලැබීමත් තුළ බරපතල කම්පනයක් විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ ඇති විය යුතුව තිබුණත් පේරාදෙණියේ එසේ වූයේ නැත. එය පේරාදෙණියේ ශිෂ්ටසම්පන්නතාවය සම්බන්ධයෙන් ඔවුන්ම තම හදවත්වලට තට්ටුකර ඇසිය යුතුව තිබුණ ප්‍රශ්නයක් බව අපි කියමු.
වෑන් රථයට සිදුව තිබුණ දේත්, එයට වගකිවයුත්තන් කවුරුන්ද යන්නත් පේරාදෙණියේ සේවක කාරකාදීන් බහුතරයක් දැන සිටියත්, එයට එරෙහිව හඬ අවදි කරන්නට කිසිවෙකුට කොඳුනාරටියක් තිබුණේ නැත. එවකට උපකුලපති මෙන්ම මහත්මයෙකැයි කිව හැකි මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධනයන්ට ඒ සඳහා බලවත් උවමනාවක් තිබුණේ වී නමුත්, පරිපාලන යාන්ත්‍රණයෙන් හෝ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළින් නිසි සහායක් නොලැබීම හේතුවෙන් ඔහු යම් තරමකට අසරණව සිටියේය.
එම අවස්ථාවේදී ආත්මශක්තියක් තිබුණ එක් නිලධාරියෙක් පමණක් මෙම අපරාධයට එරෙහිව සිය හඬ අවදි කළේය. ඔහු ප්‍රධාන විනයාරක්ෂක නිලධාරී ඩබ්.ඒ.ඒ. වේරහැරය. මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරන්නටත්, එම තොරතුරු විමර්ශකයන් වෙත සහ උපකුලපතිවරයා වෙත සන්නිවේදනය කරන්නටත් ඔහු පෞද්ගලිකව කැපවී තිබුණි.
වේරහැරගේ මෙම මැදිහත්වීම පරිපාලනයේ ඉහළ පුටුවල සිටි අපරාධ චෝදනා ලැබූවන් දුටුවේ අනවශ්‍ය මැදිහත්වීමක් ලෙසය. එම මැදිහත්වීම මගින් තමන් වෙත ඇතිකරන්නාවූ තර්ජනය ඔවුන් නියමාකාරයෙන් තක්සේරු කර තිබුණ බව එයට එරෙහිව ගත් යම් යම් ක්‍රියාමාර්ගවලින් පෙනෙන්නට තිබේ.
පළමු වටයේදී වේරහැර නිහඬ කිරීම සඳහා ඔවුන් අනුගමනය කරන ලද්දේ සිය හිතවතුන් වන සහ වේරහැරටද සම්බන්ධයක් තිබුණ පුද්ගලයන් ලවා කථා කරමින් “එයා අපේ යාළුවෙක්, ඔයා එයාට කරදර කරන බව කියනවා. පොඩ්ඩක් එයාට කරදර නොකර ඉන්න” යනාදී වශයෙන් පවසමින් “ෂේප් න්‍යායෙන්” වැඩේ ගොඩදා ගැනීමටය. මෙම උත්සාහය සාර්ථක වුණේ නැත. හුදෙකලාව වුවද අඛණ්ඩව වේරහැර සිය සටන ඉදිරියට ගෙන ගියේය.
ඉතිහාසයේ සමහර සිද්ධීන් සිදුවන්නේ අහම්බෙන් බව පෙනෙතත්, ඒවා බොහෝ විට ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන තීරණාත්මක හැරවුම් ස්ථාන බව පසුව පෙනී යයි. ඒ අනුව මෙම අපරාධයට එරෙහිව වේරහැර නැමැති නිලධාරියාගේ මැදිහත්වීම තුළින් උද්ගත වූ තත්ත්වයට අපරාධ චෝදනා ලැබූවන්ගේ ප්‍රතිචාරය මගින් තීරණාත්මක හැරවුම් ස්ථානයක් නිර්මාණය කෙරෙමින් පැවතුණි.
නුදුරු ඉතිහාසයේ එක්තරා දිනෙක තම අනාගත අවදානම සම්බන්ධයෙන් වන සීමා ඉර පැන්නාවූ පරිපාලනයේ ඉහළ බලධාරියෙක් වේරහැර තම කාර්යාලයට කැඳවූවේය.
“වේරහැර තමුසෙ තමුන්ගේ රාජකාරියට අයිති නැති මේ වෑන් එක ගිනි ගත්තු එක ගැන ඕනවට වැඩිය එලවනවා. තමුන් තමුන්ගේ සීමාව දැනගන්නවා. තමුසෙ ඒකට අපේ නම් ගාවලත් එක එක තැන කියලා තියෙනවා. වහාම මේක නවත්තනවා. නැත්තම් මම තමුසෙව ඉන්ටඩික් කරනවා!”
යනුවෙන් ඔහු ගර්ජනය කර ඇත. ඉහළ නිලධාරියාගේ ගර්ජනය හමුවේ නොනැමුණ වේරහැර කියා ඇත්තේ;
“සර් මම කරන්නේ විශ්වවිද්‍යාලය වෙනුවෙන් මගේ යුතුකම. මම හිතන්නේ මම වගේම සර්ත් මේක ගැන හොයන්න මහන්සි වෙන්න ඕන.” යනුවෙනි.
ඉවසීමේ සීමා ඉර පැන්න ඉහළ බලධාරියා පරුෂ වචනයක්ද කියාගෙන “එනවා මාත් එක්ක VC ළඟට යන්න” යැයි කියමින් වේරහැරද කැඳවාගෙන යාබදව තිබෙන උපකුලපති කාර්යාලය වෙත ගියේ මාරාවේශයෙනි.
– වැඩ තහනමට ලක්වුණේ කවුදැයි ඊළඟ කොටසින් කියවන්න.
















