රට පුරා පවතින ගොවි ගැටලු සහ වී සඳහා ස්ථිර සහතික මිලක් ලබා නොදීමේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි ගොවි නායකයන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සාකච්ඡාවට එක්වූ අතර, එහිදී ඔවුන් මුහුණ දෙන දැඩි ආර්ථික දුෂ්කරතා පිළිබඳව විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කෙරිණි. මේ අතර, මෙම ගැටලුවලට නිසි විසඳුම් ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගොවි විරෝධතා ද සංවිධානය කර තිබුණි.
පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු ඒකාබද්ධ ගොවි සංවිධාන විසින් සංවිධානය කරන ලද දැවැන්ත ගොවි විරෝධතාවක් බකමූණ නගරයේදී පැවැත්වුණු අතර, එහිදී ගොවීන් ඉල්ලා සිටියේ වී සඳහා සාධාරණ ස්ථිර මිලක් ලබාදෙන ලෙස සහ කෘෂි යෙදවුම් මෙන්ම පොහොර මිල වහාම පහත හෙළන ලෙසයි. මීට අමතරව, පුලස්තිපුර ගොවිජන එකමුතුවේ ගොවීන් පිරිසක් මින්නේරිය පුරාණ මහසෙන් දේවාලයට පැමිණ, පවතින කෘෂිකාර්මික අර්බුදයට බලධාරීන්ගේ අවධානය යොමු කරවා ගැනීම වෙනුවෙන් පොල් ගසමින් දේව කන්නලව්වක ද නිරත විය. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, ගොවි ජනතාව මුහුණ දෙන මෙම බරපතළ ප්‍රශ්න වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදී ද දිගින් දිගටම හඬ නඟන බව සහතික කළේය.
















