ශ්‍රී ලංකාවෙන් නික්ම යන කොළඹ ක්‍රමයේ (Colombo Plan) මහ ලේකම් ආචාර්ය බෙන්ජමින් පී. රෙයස් මහතා සහ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී නියෝජ්‍ය ඇමැතිවරයා, කොළඹ ක්‍රමයේ 75 වැනි සංවත්සරය සමරන මෙම සන්ධිස්ථානයේදී සංවිධානය ශක්තිමත් කිරීම සඳහා ආචාර්ය රෙයස් ලබා දුන් නායකත්වය සහ වටිනා දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය. සාමාජික රටවල් අතර කලාපීය සහයෝගීතාව, හවුල්කාරිත්වය සහ පොදු ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම සඳහා මහ ලේකම්වරයා ගත් උත්සාහයන් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
කොළඹ ක්‍රමයේ ආරම්භක ස්ථානය ලෙස ශ්‍රී ලංකාව සතු සුවිශේෂී භූමිකාව සිහිපත් කළ නියෝජ්‍ය ඇමැතිවරයා, එම සංවිධානය කෙරෙහි ශ්‍රී ලංකාවේ ඇති අඛණ්ඩ කැපවීම යළි තහවුරු කළේය. විශේෂයෙන්ම මානව ප්‍රාග්ධන සංවර්ධනය, තාක්ෂණික සහයෝගීතාව සහ සාමාජික රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන දීර්ඝකාලීන සහයෝගය පිළිබඳව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















