ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක වෙළෙඳ සංවිධාන (WTO) මූලස්ථානයේ පැවැත්වූ ‘2026 WTO විවෘත දිනය’ සඳහා ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ලෙස එක් විය. සෙන්ටර් විලියම් රැපාර්ඩ් (Centre William Rappard) ගොඩනැඟිල්ලේ 100 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එන්ගෝසි ඔකොන්ජෝ-ඉවියාලා (Dr. Ngozi Okonjo-Iweala) මහත්මිය ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි අතර, එහිදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති සුමිත් දසනායක සහ ලෝක වෙළෙඳ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති සමන්ත විජේසේකර යන මහත්වරුන් විසින් ඇයව පිළිගනු ලැබීය.
මෙම ප්‍රදර්ශන කුටිය හරහා ශ්‍රී ලංකාවේ පොහොසත් ආහාර සංස්කෘතිය සහ ආගන්තුක සත්කාරය ලෝකයට විදහා දැක්වීමට පියවර ගෙන තිබුණි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය කොත්තු ඇතුළු දේශීය ආහාර අත්දැකීම ජිනීවාහි ජාත්‍යන්තර ප්‍රජාව අතර දැඩි ප්‍රසාදයට ලක් විය. මෙම වැඩසටහන හරහා ජිනීවාහි ජාත්‍යන්තර ප්‍රජාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ජනතා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කෙරිණි.
ලෝක වෙළෙඳ සංවිධානයේ මූලස්ථානය වන සෙන්ටර් විලියම් රැපාර්ඩ් ගොඩනැඟිල්ල, ජාත්‍යන්තර සංවිධානයක් සඳහාම ජිනීවා නුවර ඉදිකළ ප්‍රථම ගොඩනැඟිල්ල ලෙස ඉතිහාසගත වේ.
















