දුගී බව තුරන් කිරීම සඳහා විවිධ ආයතන හරහා විසිරී පවතින සම්පත් සහ ප්‍රතිපාදන ඒකාබද්ධ කරමින්, නිශ්චිතව හඳුනාගත් පවුල් ඒකක ඉලක්ක කරගත් විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ පූර්ව අය-වැය සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මේ වසරේ අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් ලක්ෂ දෙකක් සහනාධාර මත යැපීමෙන් මුදාගෙන ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමු කිරීමට සැලසුම් කර තිබේ. දැනටමත් පවුල් 16,000ක් සඳහා මනෝ-සමාජීය සහ ආර්ථික සහාය ලබා දීමේ වැඩසටහන් ආරම්භ වී ඇත. එක් එක් අමාත්‍යාංශය වෙන වෙනම මුදල් වැය කරනවා වෙනුවට, පවුල් ඒකකයක අවශ්‍යතා නිවැරදිව හඳුනාගත් පවුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
කිසිදු ශ්‍රම දායකත්වයක් ලබා දිය නොහැකි ආබාධිත, වැඩිහිටි හෝ නිදන්ගත රෝගීන් සහිත පවුල් රජය විසින් පූර්ණ ලෙස රැකබලා ගන්නා අතර, ශ්‍රම ශක්තිය සහිත ඉතිරි පිරිස සහනාධාර ලබන අතරතුරම අර්ධකාලීන ශ්‍රම දායකත්ව සඳහා යොමු කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡා විය. රැකියාවේ නියුතු මව්වරුන්ට සහ ආබාධ සහිත දරුවන් වෙනුවෙන් සැලසුම් කර ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථාන 10ක වැඩ මේ වසරේ අවසන් කිරීමටත්, ඉදිරි වසර කිහිපයේදී දිවයින පුරා මෙවැනි මධ්‍යස්ථාන 50ක් ඉදි කිරීමේ ඉලක්කයට ගමන් කිරීමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මීට අමතරව ආබාධිත පුද්ගලයන් සඳහා පොලිස් ස්ථාන, රෝහල් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් සැලසීමට රුපියල් මිලියන 283ක ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. ප්‍රතිලාභ ලබන සෑම පවුල් ඒකකයක්ම සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේද යන්න මැනිය හැකි විධිමත් මිණුම් ක්‍රමවේදයක් සකස් කර, ඒ මත පදනම්ව ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය.
















