හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඇසළ පෙරහැර, අගෝස්තු මස 13 වැනි දින කප් සිටුවීමෙන් ආරම්භ වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි අගෝස්තු 13 වැනි දින අලුයම 6.17ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව මෙම කප් සිටුවීම සිදු කෙරේ.
කප් සිටුවීමෙන් අනතුරුව අගෝස්තු 13 දා සිට 17 දා දක්වා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙන අතර, ප්‍රථම කුඹල් පෙරහැර 18 වැනි දින වීදි සංචාරය කරනු ඇත. පස්වැනි කුඹල් පෙරහැර 22 වැනි දින පැවැත්වීමෙන් පසු විචිත්‍රවත් රන්දෝලි පෙරහැර අගෝස්තු මස 23 දා සිට 27 දා දක්වා වීදි සංචාරය කිරීමට නියමිතය.
නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන අගෝස්තු 27 වැනි දින අවසන් රන්දෝලි මහ පෙරහැර වීදි සංචාරය නිමා කර ගෙවැදීමෙන් පසු, ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව රජමහා විහාරස්ථානය වෙත ගමන් කර පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහැර කරඬුව එහි තැන්පත් කරනු ඇත. අනතුරුව සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ දිය කපනා තොට වෙත ගමන් කර 28 වැනි දින අලුයම් කාලයේ දිය කැපුම් මංගල්‍යය සිදු කෙරෙන අතර, එදින දහවල් කාලයේ පැවැත්වෙන දවල් පෙරහැරෙන් මෙවර පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.
















