දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ වගාබිම් සඳහා ගොවීන් 202,205 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 12,341.5ක වන්දි මුදලක් ගෙවා අවසන් බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා පූර්ණ හානි වූ අක්කර 148,000ක් සඳහා ගොවීන් 116,278 දෙනෙකුට රුපියල් මිලියන 8,888.5ක වන්දි මුදලක් ගෙවා ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මහවැලි බලප්‍රදේශ, පළාත් සහ අන්තර් පළාත්වල බඩඉරිඟු සහ එළවළු ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර භෝග වගා කළ ගොවීන් 85,747 දෙනෙකුට රුපියල් මිලියන 3,453ක වන්දි මුදලක් ගෙවා තිබේ.
වන්දි ගෙවීමේ අනුමත ක්‍රමවේදය අනුව, වී වගාව සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 150,000ක් බැගින්ද, බඩඉරිඟු හා එළවළු ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර භෝග සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 200,000ක් බැගින්ද ලබා දීමට පියවර ගෙන ඇත.
















