වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති නියමු ව්‍යාපෘති සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කර ඇති පවුල් සවිබල ගැන්වීමේ නියමු වැඩසටහන හරහා ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ අවුරුදු 18ට අඩු දරුවන් සිටින පවුල් සඳහා එම තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීමේ ක්‍රමවේද හඳුන්වා දී ඇත.
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම පිළිබඳව අදාළ පාර්ශ්වවලින් යෝජනා ලබාගැනීමේ මූලික සාකච්ඡා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සමාජීය, මානසික හා සෞඛ්‍යමය බලපෑම්, ඩිජිටල් ආරක්ෂාව සහ ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මෙම වසර අවසන් වීමට පෙර 16න් පහළ දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීමට ද සැලසුම් කර ඇත.
ළමා ආරක්ෂක අධිකාරිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුළු ආයතනවල සහයෝගයෙන් යුනිසෙෆ් (UNICEF) ආයතනයේ ද සහාය ඇතිව ගුරුවරුන් පුහුණු කිරීම සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ. ළමා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘Brain Health’ සංකල්පය පදනම් කරගත් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ කතිකාවතක් රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහතාගේ සහාය ඇතිව ආරම්භ කිරීමට නියමිතය. මෙම කාරණය රජයේ ප්‍රමුඛතාවක් වන අතර, එය තනි ක්‍රියාවකින් පාලනය කළ නොහැකි බැවින්, ඩිජිටල් සෞඛ්‍ය (Digital Health) පිළිබඳ උපදෙස් ලබාගනිමින් රටට සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් මණ්ඩලයට මෙම වසර තුළ යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
















