එක්සත් ජනපද සහ ඉරානය අතර පවතින සටන් විරාමය “අවසන්” විය හැකි බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු, ඇමරිකාව විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් යළි ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපද මධ්‍යම විධානය (US Central Command) X සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, හොර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන නිදහසට තර්ජනයක් වීමේ හැකියාව තවදුරටත් දුර්වල කිරීම සඳහා මෙම අමතර ප්‍රහාර දියත් කළ බවයි. ජාත්‍යන්තර ජල මාර්ග ඔස්සේ නිදහසේ ගමන් කරන වාණිජ නෞකාවන්ට සහ සිවිල් කාර්ය මණ්ඩලයට එරෙහිව ඉරානය සිදු කළ අයුක්ති සහගත ආක්‍රමණ වෙනුවෙන් ඔවුන්ව වගවීමකට ලක් කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, ඉරානයේ බුෂෙහර් නගරයෙන් පිපිරීම් හඬ ඇසුණු බව ඉරානයේ අර්ධ නිල ෆාර්ස් පුවත් ඒජන්සිය වාර්තා කළේය. ඉරාන ඉස්ලාමීය ජනරජ ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, බුෂෙහර් ප්‍රාන්තයේ දේශපාලන හා ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ ඇමරිකානු ප්‍රක්ෂේපණ දෙකක් බුෂෙහර් දකුණින් පිහිටි හමුදා කඳවුරකට වැදී ඇති බවයි. එම ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි පිළිබඳ වාර්තා තවමත් ලැබී නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.
බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය පිහිටි නගරයට මෙම ප්‍රහාර එල්ල වුවද, ඉරානයේ ඉහළම ජාතික ආරක්ෂක කවුන්සිලයට අනුබද්ධ නූර් පුවත් ඒජන්සිය පවසන්නේ බලාගාරයට හානි සිදුවී නොමැති බවයි.
















