මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් සඳහා උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද (09) දිනයේ මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් ‘තාප දර්ශකය’ (Heat Index) ‘අවධානය යොමු කළ යුතු මට්ටම’ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තාප දර්ශකය ගණනය කරනු ලබන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය භාවිතා කරමින් වන අතර, මෙය මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්ව තත්ත්වය වේ. දිගු වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් විඩාව ඇති විය හැකි අතර, එවැනි ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදු කිරීම නිසා මස්පිඬු පෙරලීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එබැවින්, ශරීරය විජලනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටී.
















