ලියාපදිංචි නොකළ මාර්ගගත ණය ලබාදෙන ජංගම දුරකථන යෙදවුම් (Loan Apps) භාවිතා කිරීමේදී මහජනතාව ඉතා කල්පනාකාරී විය යුතු බව ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) විශේෂ දැනුම්දීමක් සිදු කරයි.
මෙම යෙදවුම් හරහා සුළු ණය මුදල් ලබාගැනීමේදී, එම ආයතන විසින් පරිශීලකයාගේ ජංගම දුරකථනයේ ඇති පෞද්ගලික දත්ත (ඡායාරූප, සම්බන්ධතා ලැයිස්තුව, පණිවිඩ ආදිය) වෙත ප්‍රවේශ වීමට අවසර ලබා ගනී. පසුව, එම පෞද්ගලික දත්ත භාවිතා කරමින් ජාවාරම්කරුවන් විසින් අදාළ පුද්ගලයන් බ්ලැක්මේල් කිරීම, බියගැන්වීම සහ සමාජීය වශයෙන් අපහසුතාවයට පත් කිරීම වැනි බරපතළ තත්ත්වයන් මතුවිය හැකි බව පොලීසිය පෙන්වා දෙයි.
එබැවින්, මෙවැනි අනවසර සහ ලියාපදිංචි නොවූ ණය යෙදවුම් වෙත තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින ලෙසත්, මූල්‍ය ගනුදෙනු සඳහා විශ්වාසවන්ත සහ ලියාපදිංචි ආයතන පමණක් භාවිතා කරන ලෙසත් මහජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.














