ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින්, සිය සන්නිවේදන සහ මූල්‍ය සේවා ඒකාබද්ධ කරමින් ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ‘Dialog Pay’ සේවාව අද (09) හඳුන්වා දෙන ලදී.
මීට පෙර ‘Genie’ නමින් පැවති සේවාව මේ වන විට ‘Dialog Pay’ ලෙස නැවත නම් කර ඇති අතර, එය දැන් MyDialog App සහ Dialog Pay App හරහා ප්‍රවේශ විය හැකි පරිදි වඩාත් පුළුල් ඩිජිටල් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වේ. LankaQR ගෙවීම් ක්‍රමය ඔස්සේ දිවයින පුරා පවතින වෙළෙඳසල් 100,000කට අධික සංඛ්‍යාවකදී පාරිභෝගිකයින්ට ඉතා ආරක්ෂිතව QR කේතය Scan කර මුදල් ගෙවීමේ හැකියාව හිමිවේ.
පාරිභෝගිකයින්ට තම eZ Cash ගිණුම හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට සම්බන්ධ කර ගත හැකිය. එමගින් මුදල් යැවීම, ඉතුරුම් ගිණුම් හා ස්ථාවර තැන්පතු විවෘත කිරීම සහ ණය පහසුකම් ලබාගැනීම වැනි මූල්‍ය කටයුතු සිදු කළ හැක. පාරිභෝගිකයින් දිරිගැන්වීම සඳහා Dialog Pay හරහා සිදුකරන QR ගෙවීම් සඳහා ඩයලොග් වෙතින් නොමිලේ Data වාසි පිරිනැමේ.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේ, තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලාංකික ජන ජීවිත සහ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන් පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අපේක්ෂාව බවයි.
















