හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථය මගින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරමින් කොළඹ වාණිජ මහාධිකරණය පැනවූ රුපියල් මිලියනයක වන්දි නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
මෙම නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, වාණිජ මහාධිකරණ විනිසුරුවරයා නීතිය හා කරුණු නිසි ලෙස සලකා බලා එම වන්දි තීන්දුව ලබා දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට අවශ්‍යතාවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, අදාළ ග්‍රන්ථය මුළුමනින්ම ප්‍රකාශයට පත් කිරීම, විකිණීම සහ බෙදාහැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය මීට පෙර නිකුත් කර තිබූ තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංශෝධනය කිරීමට තීරණය කළේය. ඒ අනුව, එම තහනම් නියෝගය ග්‍රන්ථයේ ඇතුළත් ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛනවලට පමණක් සීමා කරන ලෙස නියෝග කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන් ඊට එකඟත්වය පළ කළහ. ජනතා විමුක්ති පෙරමුණට අයත් ලේඛන කිහිපයක් අවසරයකින් තොරව ග්රන්ථයට ඇතුළත් කිරීම මගින් තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය වී ඇති බව ටිල්වින් සිල්වා මහතා වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවේදී පෙන්වා දී තිබුණි.
















