කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැළඳී ඇති බව එම සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර මහතා පවසයි. අද (09) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අනාවරණය කළේය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෙසු පිරිසකට ද රෝගය වැළඳී ඇති බවත්, මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය පුරා ඩෙංගු වසංගත තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජූනි මාසය පුරා සිදුකළ වැටලීම්වලදී ඩෙංගු මදුරුවන් බෝවන පරිදි වගකීම් විරහිතව කටයුතු කළ පුද්ගලයින් 1,186 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, ඒ මගින් රුපියල් එක්කෝටි දෙලක්ෂ විසිපන් දහසක දඩ ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබේ. ජූනි මාසයේ පමණක් නිවාස 494කට, රජයේ සහ පෞද්ගලික ආයතන 134කට, පාසල් 4කට සහ ආගමික ස්ථාන 2කට නීතිමය පියවර ගෙන ඇත. ඉදිරියේදී ද කිසිදු තරාතිරමකින් තොරව මෙම වැටලීම් සහ නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරන බව අමිත් කුමාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















