ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම ඕනෑම රටක් සිදුකරන ඉතාම වටිනා ආයෝජනයක් ලෙස තමන් සලකන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. අද (09) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ජාතික අධ්‍යාපන ආයතනයේ 2026 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.
අධ්‍යාපනය තුළින් පුද්ගලයන් ස්වාධීනව සිතීමට යොමු කළ යුතු බවත්, සමාජ අසාධාරණයට එරෙහිව ප්‍රශ්න කිරීමටත්, විවිධත්වය අගයමින් සමාජ ක්‍රියාකාරකම් සඳහා ක්‍රියාශීලීව සහභාගී වීමටත් නව පරපුරට හැකියාව ලබාදීම අධ්‍යාපනයේ අරමුණ විය යුතු බවත් ඇය පැවසුවාය. විවේචනාත්මක චින්තනය, ඩිජිටල් තාක්ෂණික දැනුම සහ ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව සහිත වෙනස් වන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව ඇය අවධාරණය කළාය. පවතින සමාජ විෂමතා තවදුරටත් ඉහළ නොදමමින්, සෑම දරුවෙකුටම සිය උපරිම හැකියාවන් කරා ළඟා වීමට අවස්ථාව ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සියලු දෙනාගේ සාමූහික වගකීම බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, 21 වන සියවසේ යථාර්ථයන්ට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා නව්‍යකරණයට කැමති, පැරණි භාවිතයන් අභියෝගයට ලක්කරන සහ නව දැනුම උත්පාදනය කිරීමට දායක වන පුළුල් චින්තනයෙන් යුතු වෘත්තිකයන් අවශ්‍ය බවයි. මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා ගරුතර මහා සංඝරත්නය, අමාත්‍යාංශ නිලධාරීන් සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය හා කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















