ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගෙන් සිය කසළ වගකීමෙන් හා නිසි ලෙස බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටියි. ජූලි මස 15 දින සිට 29 දින දක්වා පැවැත්වෙන මෙම උත්සව සමයේදී බැතිමතුන් ලක්ෂ 25කට අධික පිරිසක් කතරගම වෙත පැමිණෙන අතර, පූජා නගරය සහ මැණික් ගඟ ආශ්‍රිතව දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 75ක් පමණ එක්රැස් වන බව වාර්තා වේ.
පරිසර දූෂණය අවම කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කතරගම ප්‍රාදේශීය සභාව ඇතුළු ආයතන ගණනාවක් ඒකාබද්ධව විවිධ වැඩසටහන් මෙවරත් ක්‍රියාත්මක කරයි. ඒ අනුව, පූජා භූමියට පිවිසෙන මාර්ගවලදී පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබා දීම, බැතිමතුන් ප්‍රවාහනය කරන බස් රථවල දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ වීදි නාට්‍ය වැනි නිර්මාණාත්මක ප්‍රවේශයන් භාවිත කෙරේ.
එසේම ජූලි 22 වැනි දින වැඩසිටි කන්ද ආශ්‍රිතව ශ්‍රමදානයක් සංවිධානය කර ඇති අතර, ප්ලාස්ටික් බෝතල් එක්රැස් කිරීම සඳහා දැල් ආවරණ සහිත විශේෂිත කසළ රඳවනයන් ස්ථාපිත කර ඇත. පාද යාත්‍රා මාර්ගයේ ද කසළ බැහැර කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, උත්සවය අවසානයේ පූජා භූමිය පවිත්‍ර කිරීම සහ එක්රැස් වන අපද්‍රව්‍ය නිවැරදි ක්‍රමවේද යටතේ ප්‍රතිචක්‍රීකරණය කිරීමට ද පියවර ගෙන තිබේ.
















