වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගිය රැඳවියෙකුගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ ද, එය දරුණු ලෙස පහරදීමකට ලක්වීමෙන් සිදුවූ ඝාතනයක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) චෝදනා කරයි. තමන් වෙත ලැබී ඇති විශ්වාසදායක තොරතුරු අනුව, ජූලි 07 වැනිදා රාත්‍රියේ මෙම රැඳවියා දරුණු ප්‍රහාරයකට ලක්ව ඇති අතර, සත්‍යය වසන් කරමින් මෙම ඝාතනය සියදිවි නසාගැනීමක් ලෙස හුවා දැක්වීමට බන්ධනාගාර බලධාරීන් උත්සාහ දරන බව එම කමිටුව අවධාරණය කරයි.
මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා ජූලි 07 වැනිදා රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) නිලධාරීන්ට ද බන්ධනාගාර පරිපාලනය විසින් අවසර ලබා නොදීම තුළින් බරපතළ සැකයක් මතු වන බව ද එම කමිටුව පෙන්වා දෙයි. බන්ධනාගාරය තුළ සිදුවන මෙවැනි අමානුෂික ක්‍රියා සහ මරණ පිළිබඳව වහාම ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙසත්, සිරකරුවන්ගේ ආරක්ෂාව සහ මූලික අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත් ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
















