මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ බිහිසුණු ලේ වැගිරීම වත්මන් සමාජයේ පවතින ඛේදජනක යථාර්ථය සහ රට තුළ නිර්මාණය වෙමින් පවතින මහා අරාජිකත්වයක ආරම්භක ලකුණක් බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු චෝදනා කළේ, වත්මන් ආණ්ඩුව සිය මුළු ශක්තිය සහ කාලයම පටු දේශපාලන අරමුණු සහ දේශපාලන පළිගැනීම් සඳහා පමණක් වැය කරන බවයි. ලංකා ඉතිහාසයේ බන්ධනාගාර ගැටුම් වාර්තා වුවද, රාජකාරියේ නිරත බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු එකම ස්ථානයකදී ඝාතනය වූ පළමු අවස්ථාව මෙය බව ඔහු සිහිපත් කළේය.
වත්මන් පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් පිරිසක් පැමිණි බවට ඇතැමුන් ආඩම්බරයෙන් කතා කළ ද, රටේ ප්‍රගතිය උදෙසා කිසිදු උගත් හෝ බුද්ධිමත් ප්‍රවේශයක් පාලකයින් සතුව නොමැති බව දිලිත් ජයවීර මහතා පෙන්වා දුන්නේය. සියලු රැඳවියන් කුඩුකාරයන් ලෙස හංවඩු නොගසා, නීති පද්ධතියේ අඩුපාඩු හේතුවෙන් බන්ධනාගාරගත වූවන් ද සිටින බව වටහා ගැනීම යුක්තිගරුක බව ඔහු අවධාරණය කළේය. දිනපතා ප්රවෘත්ති මවමින් සහ දේශපාලන කතන්දර හදමින් ජනතාව තාවකාලිකව රවටා තබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත්, රටේ පවතින සැබෑ මූල්‍ය සහ ආර්ථික අර්බුදය ජනතාවගෙන් වසන් කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
















