චාමික හීනටිගලගේ අතිවිශිෂ්ට පිතිකරණ දක්ෂතා හේතුවෙන් සංචාරක ඉන්දීය යොවුන් කණ්ඩායම පරාජය කරමින් තෙවන එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (09) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්විය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 290ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු එක පිට එක බිඳ වැටෙමින් ජයග්‍රහණය ගිලිහී යන මොහොතක, 7 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි චාමික හීනටිගල අතිශය තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තේය.
චාමික හීනටිගල පන්දු 68කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 84ක් රැස් කරමින් තරගය අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහුට අනගි සහයක් ලබා දුන් සෙනුජ වැකුණගොඩ ලකුණු 67ක් සහ කෙත්ම විතානපතිරණ ලකුණු 31ක් රැස් කරමින් ජයග්‍රහණයට මාවත සකස් කළහ.
















