ග්‍රාමීය ප්‍රජා ජල ව්‍යාපෘති විධිමත් ලෙස නියාමනය කිරීම සඳහා “ජාතික පානීය ප්‍රජා ජල සංවර්ධන පනත් කෙටුම්පත” කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙරට ග්‍රාමීය ජල ව්‍යාපෘති පාලනය කරනු ලබන ප්‍රජා මූල සංවිධාන නියාමනය කිරීම සහ ඒ වෙනුවෙන් ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිල බලය ලබා දීම මෙම නව පනතේ ප්‍රධාන අරමුණක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
ග්‍රාමීය ප්‍රදේශවල ජල සැපයුම සිදු කරන ප්‍රජා මූල සංවිධාන සඳහා මෙතෙක් විධිමත් නීතිමය රාමුවක් නොතිබූ බව පැවසූ අමාත්‍යවරයා, දැනට ලංකාව පුරා ප්‍රජාව විසින් කළමනාකරණය කරනු ලබන කුඩා පරිමාණ ග්‍රාමීය ජල සම්පාදන ක්‍රම 4,000ක් පමණ පවතින බව ද සඳහන් කළේය. ඉන් ව්‍යාපෘති 3,800ත් 3,900ත් අතර ප්‍රමාණයක් සක්‍රිය මට්ටමේ පැවතිය ද, ප්‍රමාණවත් ධාරිතාවක් නොමැතිකම, නඩත්තු දුර්වලතා සහ තාක්ෂණික ගැටලු හේතුවෙන් ග්‍රාමීය ජල ව්‍යාපෘති 100ත් 500ත් අතර සංඛ්‍යාවක් දැනට අක්‍රිය වීමේ අවදානමකට ලක්ව ඇති බව ද අමාත්‍ය සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
















