ලෝකයේ වංචා හා දූෂණ අවම, ඉහළම දියුණුවක් අත්කරගෙන ඇති ඩෙන්මාර්කය සහ ෆින්ලන්තය වැනි රටක් බවට ශ්‍රී ලංකාව ද පරිවර්තනය කිරීමේ දැඩි අරමුණින් වත්මන් රජය නව අණපනත් හඳුන්වා දීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. අතීත පාලනයන් විවේචනය කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය දශක ගණනාව පුරා සුදු ඇඳගත් ‘කළු පාලකයන්’ විසින් රට තුළ කළු ආර්ථිකයක් නිර්මාණය කරමින් රාජ්‍ය මුදල් විශාල වශයෙන් අවභාවිත කළ බවයි. එවැනි දූෂිත තත්ත්වයන් සහමුලින්ම වෙනස් කිරීම සඳහා වත්මන් රජය නීතිමය පද්ධතිය සහ අණපනත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම අවධාරණය කළේය.
රටේ පාතාල කල්ලි නිර්මාණය වීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ 1977 වසරෙන් පසු මෙරට පාතාලය සීඝ්රයෙන් වර්ධනය වූ බවයි. එදා සිටි දේශපාලනඥයන් විසින් නිර්මාණය කරන ලද ‘ගෝනවල සුනිල්’ සහ ‘සොත්ති උපාලි’ වැනි පාතාල නායකයන්ගේ දිගුවක්, අද වන විට විවිධ නම්වලින් සහ විවිධ ස්වරූපවලින් වත්මන් සමාජය තුළ ක්‍රියාත්මක වන බව ද ඔහු පෙන්වා දුන්නේය. එවැනි දූෂිත දේශපාලන සංස්කෘතියක් සහ පාතාල ක්‍රමවේදයක් වත්මන් රජය යටතේ සම්පූර්ණයෙන්ම තුරන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















