මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විඳින දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සහ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා දැනට පවතින 5,000කට අධික පොරොත්තු ලේඛනය අවම කිරීම අරමුණු කරගනිමින් ස්ථාපිත කළ ‘මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය’ අනිද්දා (12) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් වන වකුගඩු ගල් රෝගය සඳහා දිවයින පුරා මූත්‍ර රෝග ඒකක 30කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුවද, යටිතල පහසුකම් සීමා වීම සහ නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණයට ප්‍රවේශ වීමේ අපහසුව නිසා රෝගී ඉල්ලුම බෙහෙවින් ඉහළ ගොස් ඇත. මෙම ගැටලුවට විසඳුමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග (NCD) කාර්ය සාධක බළකායේ යෝජනාවක් පරිදි මෙම මධ්‍යගත ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවා ඇත.
මෙම මධ්‍යස්ථානයේ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තිබේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන විශේෂඥ මූත්‍ර රෝග ශල්‍ය වෛද්‍යවරුන්ට තම රෝගීන් මෙම මධ්‍යස්ථානය වෙත යොමු කර, නවීන තාක්ෂණික පහසුකම් යටතේ ශල්‍යකර්ම සිදු කිරීමට අවස්ථාව හිමිවේ. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා මූත්‍ර රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (SLAUS) තාක්ෂණික සහයෝගය ලබා දී ඇති අතර, ප්‍රකට ව්‍යවසායක ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා ද නවීන උපකරණ සහ තාක්ෂණික පහසුකම් ලබා දෙමින් සහාය වී ඇත.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතය.
















