මෙරට දරු උපත් අනුපාතය පහළ යෑම පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ අදහස් දැක්වීමක් සිදු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දුන්නේ, වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු සහ සම්මාන දිය යුතු දෙයක් බවට පත් කළ යුතු බවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, විවාහ වයස ඉහළ යෑම, ජීවන වියදම වැඩිවීම, ආර්ථික අවිනිශ්චිතතාවය සහ තරුණ පරපුර රට හැර යෑම වැනි හේතු සාධක මත රටේ තරුණ ජනගහනය අනාගතයේදී දැඩි හිඟයකට ලක්වීමේ අවදානමක් පවතින බවයි.
මෙම අර්බුදයට විසඳුම් ලෙස මන්ත්‍රීවරයා යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. දරුවන් සිටින පවුල් සඳහා බදු සහන ලබා දීම සහ ආදායම් බදු අඩු කිරීම මෙන්ම සුදුසුකම්ලත් පවුල් සඳහා මූල්‍ය ආධාර සහ දරු උපත්වලදී විශේෂ ප්‍රදානයන් ලබා දීම සිදුකළ යුතු බව ඔහු පැවසීය. එමෙන්ම මාතෘ සහ පිතෘ නිවාඩු ප්‍රතිලාභ දෙමාපියන් දෙදෙනාටම හිමිවන පරිදි ඉහළ දැමීම, ළමා සුරැකුම් සේවා සහ මුල් ළමාවිය සංවර්ධන වියදම් අඩු කිරීම සඳහා රජයේ මැදිහත්වීම ලබා දීම වැදගත් බව ඔහු සඳහන් කළේය. තරුණ පවුල් සඳහා සහනදායි නිවාස ණය පහසුකම් ලබා දීම සහ දරුවන් වැඩි පවුල්වල ණය පොළිය අඩු කිරීම ද දිරිගැන්වීමක් ලෙස ඔහු යෝජනා කළේය.
ඉදිරියේදී රටේ පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිවල ධාරිතාවට ගැලපෙන දරුවන් නොමැතිවීම ඉතා බැරෑරුම් සමාජ ප්‍රශ්නයක් බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, දරුවන් ලැබූ පවුල් සඳහා විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බව වැඩිදුරටත් කියා සිටියේය.
















