හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන 14 වැනිදා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (10) නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජූලි 13 වනදා සිට අගෝස්තු 2 වනදා දක්වා කාලසීමාව තුළ ඔහුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමෙන් විමසා සිටියේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධතාවයක් පවතින්නේද යන්න සලකා බලා නියෝගයක් නිකුත් කරන බවයි. ඒ අනුව නඩුව ලබන 14 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.
සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හතරක සේවකයන් සඳහා රක්ෂණාවරණ ලබා ගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් මිලියන 4.7කට අධික පාඩුවක් සිදු කළ බවට වූ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
















