පරිසර, ස්වාභාවික සම්පත්, කෘෂිකර්මාන්තය හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සහ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමාට අවස්ථාව අහිමි කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව අවධාරණය කළේය.
ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිරීක්ෂකයකු ලෙස එක් වීමට තමාට හැකි වුවද, එහි අදහස් පළ කිරීමට නොහැකි බව කාරක සභා සභාපති හෙක්ටර් අප්පුහාමි මහතා හරහා රජය තමාට දැනුම් දී ඇති බව විපක්ෂ නායකවරයා පවසයි.පාර්ලිමේන්තුවේ රීති සහ ස්ථාවර නියෝග උපයෝගී කර ගනිමින් විපක්ෂයේ හඬ මර්දනය කිරීමට සහ ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු වැළැක්වීමට වත්මන් රජය උත්සාහ කරන බවත්, මෙය බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් හෙතෙම කියා සිටියේය.
තෙතමනය 14%ක කොන්දේසියක් සහිතව නාඩු රු. 120, සම්බා රු. 130 සහ කීරි සම්බා රු. 140 ලෙස වී මිල නියම කර ඇතත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය පවසන පරිදි වී කිලෝවක් සඳහා නිෂ්පාදන පිරිවැය රු. 137ක් බව ඇමැතිවරයා ද පිළිගෙන ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
කමිටු තුළ විපක්ෂයේ හඬ මර්දනය කළද, ගොවි ජනතාවගේ සාධාරණ ස්ථාවර මිලක් වෙනුවෙන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත අඛණ්ඩව සටන් කරන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















