දේශීය අර්තාපල් අල ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් ඔවුන් ඉල්ලා සිටි මිලටත් වඩා වැඩි මිලක් ලබා දෙමින් රජය අල මිලදී ගැනීම සිදු කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය.ගොවීන් විසින් රුපියල් 220ත් 240ත් අතර සහතික මිලක් ඉල්ලා සිටියද, රජය විසින් සතොස හරහා දේශීය අල කිලෝවක් රුපියල් 280ක මිලකට මිලදී ගැනීමට පියවර ගෙන ඇත.දේශීය අල ගොවියා ආරක්ෂා කිරීම සඳහා ආනයනික අර්තාපල් සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ද රුපියල් 80 දක්වා පසුගිය කාලයේදී ඉහළ දැමීය.අද වන විට දඹුල්ල වෙළෙඳපොළේ අල කිලෝවක මිල රුපියල් 310ක් ලෙස පවතී.බීජ, කෘෂි රසායන සහ පොහොර මිල ගණන් මත අල මිලේ වෙනස්කම් සිදුවිය හැකි වුවත්, දේශීය ගොවියාට සාධාරණ මිලක් ලබා දීමට රජය කටයුතු කර ඇත.අර්තාපල් අල මිල තවදුරටත් ඉහළ ගියහොත් රජයක් ලෙස ඒ සඳහා මැදිහත් වීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















