පසුගිය මාසයේදී කැනඩාවේ ආර්ථිකය තුළ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි රැකියා ප්‍රමාණයක් උත්පාදනය වී ඇති බව පෙන්වන නවතම දත්ත නිකුත් වීමත් සමඟ, කැනේඩියානු ඩොලරය අද (10) ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සති තුනකින් වාර්තා වූ ඉහළම අගය දක්වා ශක්තිමත් විය. අඛණ්ඩව සති පහක් පුරා අගය පහත වැටෙමින් තිබූ කැනේඩියානු ඩොලරය (Loonie), මෙම සාර්ථක වර්ධනයත් සමඟ සති හයකට පසුව සිය පළමු සතිපතා ලාභය සනිටුහන් කරමින් ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව සියයට 0.3ක අගයකින් ඉහළ ගියේය.
ජූනි මාසයේදී කැනඩා ආර්ථිකයට අලුතින් රැකියා 10,000ක් එකතු වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් ඇස්තමේන්තු කර තිබුණ ද, සැබෑ රැකියා උත්පාදනය 18,200ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එරට විරැකියා අනුපාතය ද සියයට 6.5ක් දක්වා සුළු වශයෙන් පහත වැටී ඇත. මේ අතර, කැනඩාවේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් වන බොරතෙල් මිල සියයට 1.3කින් පහත වැටී බැරලයක් ඩොලර් 71.11ක් ලෙස සටහන් වුවද, හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අමෙරිකා – ඉරාන ගැටුම් හේතුවෙන් සමස්ත සතිය පුරා තෙල් මිල ඉහළ මට්ටමක පැවතුණි. කෙසේ වෙතත්, මෙම ධනාත්මක රැකියා දත්ත හේතුවෙන් කැනඩා මහ බැංකුව (Bank of Canada) ලබන ජූලි 15 වැනිදා පැවැත්වෙන රැස්වීමේදී සිය පොලී අනුපාත සියයට 2.25 මට්ටමේ නොවෙනස්ව තබා ගනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















