‘ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා’ (Towards a Dengue-Free Colombo) යන තේමාව යටතේ ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවේ හයවන දිනය වන 2026 ජූලි 10 වන දින, ශ්‍රී ලංකා නාවික හමුදාව තම සක්‍රීය දායකත්වය ලබා ගත්තේය.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂණ අංශය එක්ව සංවිධානය කරන මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන, ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කිරීම සහ නිරෝගී මෙන්ම සෞඛ්යාරක්ෂිත පරිසරයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් හැටපහක (65) පිරිසක් මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දැක්වූහ.
එම වැඩසටහන යටතේ මෝදර, මොරටුව, කෝට්ටේ, පිටකෝට්ටේ, පානදුර, මහර සහ වැල්ලවත්ත යන ප්‍රදේශයන්හි ස්ථාන හැට එකක් (61) පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන එක්දහස් හයසිය හැත්තෑ එකක් (1,671) හඳුනාගන්නා ලදී. ඊට අමතරව, ඩෙංගු මර්දන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් අසුදෙකක් (82) ද ක්‍රියාත්මක කෙරිණි.
මෙම ඩෙංගු මර්දන වැඩසටහන් තුළින් පරිසරය විධිමත්ව පරීක්ෂාවට ලක් කරමින් ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසිදු කිරීම හා විනාශ කිරීමේ කටයුතු සිදු කෙරිණි. ඊට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනෙකුත් විධානයන් මගින් ද නාවික හමුදා කඳවුරු ඩෙංගු මදුරුවන්ගෙන් තොර ආරක්ෂිත කලාපයන් බවට පත් කර ගැනීම සඳහා අඛණ්ඩව ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක වේ.
















