ඉන්දියාවේ පූනේ, පිම්ප්‍රි-චින්ච්වාඩ් හි මෝෂි කසළ කන්ද අසල පිහිටි පරිපාලන ගොඩනැගිල්ලක් මතට කඩාවැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව අට දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කසළ බලශක්තිය බවට පත්කිරීමේ ව්‍යාපෘතියකට අයත් එම පරිපාලන ගොඩනැගිල්ල තුළ සිරවී සිටි පුද්ගලයින් හත් දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේ සිට ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, තවත් පුද්ගලයෙකු අතුරුදහන්ව සිටින බව බලධාරීහු තහවුරු කරති. ඉන්දීය හමුදාව, ජාතික ආපදා ප්‍රතිචාර බලකාය, පිම්ප්‍රි-චින්ච්වාඩ් නාගරික සංස්ථාව, පූනේ මහ නගර කලාපීය සංවර්ධන අධිකාරියේ ගිනි නිවන සේවා සහ පොලිසිය එක්ව මෙම දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුම පවත්වාගෙන යනු ලබයි.
පිම්ප්‍රි-චින්ච්වාඩ් නාගරික සංස්ථාව මගින් පවත්වාගෙන යනු ලබන මෙම මෝෂි කසළ කන්ද ආශ්‍රිත අනතුර සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්‌ශනයක් ආරම්භ කර ඇත. අතුරුදහන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා මෙහෙයුම් දැඩි කර ඇති අතර, ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම සහ කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතී.
















