2027 වර්‌ෂය සඳහා වන විසර්‌ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය කථාව නොවැම්බර් මස 12 වන දින පාර්‌ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව, අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 වන දින සිට 20 වන දින දක්වාත්, කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 21 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වාත් පැවැත්වීමට නියමිතය.
මෙම ක්‍රියාවලියට අදාළව විසර්‌ජන පනත් කෙටුම්පත සැප්තැම්බර් මස 18 වන දින ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඔක්තෝබර් මස 07 වන දින එය පාර්‌ලිමේන්තුවේ පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමටත් සැලසුම් කර ඇත. අමාත්‍යංශ අනුව සකස් කරන ලද වියදම් ඇස්තමේන්තු ඇතුළත් මෙම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා සැප්තැම්බර් මස 14 වන දින යොමු කෙරෙනු ඇත.
රජයේ මූල්‍ය ප්‍රතිපත්ති සහ ඉදිරි වර්‌ෂය සඳහා වන රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් තීරණාත්මක වන මෙම අයවැය ඉදිරිපත් කිරීමේ වැඩසටහන, නියමිත දින වකවානු අනුව ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත. වාර්‌ෂික අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම හරහා රටේ ආර්‌ථික අරමුණු සහ සංවර්ධන ඉලක්ක පාර්‌ලිමේන්තුව හරහා රටට අනාවරණය කෙරේ.
















