මහ කන්නයේදී රජය විසින් වී මිලදී ගැනීමේදී පවතින මිලට වඩා වැඩි සහතික මිලක් ගොවියාට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්‌ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පවසයි. වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ගොවියාට සාධාරණ මිලක් ලබා දීම රජයේ අපේක්ෂාව බවත්, ඒ අනුව කටයුතු සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වත්මන් රජය යටතේ වී සඳහා ලබා දෙන මිල ගණන් පෙර පැවති මිලට වඩා ඉහළ මට්ටමක පවතින බව නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මින් පෙර රුපියල් 90ක මිලකට වේළපු වී කිලෝවක් විකිණීමට ගොවීන්ට සිදුවුවද, වත්මන් රජය මගින් එම වී කිලෝවක් සඳහා රුපියල් 120ත් 130ත් අතර මිලක් ලබා දීමට ක්‍රියා කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම තීරණය හරහා ගොවි ජනතාවට සහන සැලසීම රජයේ ප්‍රමුඛතාවක් වන අතර, යල කන්නයේ වී මිලදී ගැනීම පවතින මිලට සිදුකළ ද මහ කන්නයේදී මෙම සහතික මිල සංශෝධනය අනිවාර්‌යයෙන්ම ක්‍රියාත්මක වනු ඇත. කෘෂිකර්‌ම අංශයේ මූල්‍ය ස්ථාවරත්වය සහ ගොවීන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් රජය මෙම වැඩපිළිවෙළ දියත් කිරීමට නියමිතය.
















