‘නම්බියෝ’ (Numbeo) වෙබ් අඩවිය විසින් නිකුත් කළ 2026 වසරේ මැද භාගයට අදාළ රථ වාහන දර්ශකයට අනුව, ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් පවතින රටවල් අතර තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. එම දර්ශකයට අනුව ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් සහිත රට ලෙසද ශ්‍රී ලංකාව නම් කර ඇති බව වාර්‌තා වේ.
එම වාර්‌තාවේ දැක්වෙන පරිදි ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් පවතින රට ලෙස නයිජීරියාව ප්‍රකාශයට පත් කර ඇති අතර, දෙවන ස්ථානය කොස්ටරිකා රාජ්‍යයට හිමි වී තිබේ. මීට ප්‍රතිවිරුද්ධව, ලොව අඩුම මාර්ග තදබදයක් පවතින රට ලෙස ඇස්තෝනියාව සැලකෙන අතර, ඔස්ට්‍රියාව සහ ෆින්ලන්තය ද එම දර්ශකයේ ඉහළින්ම පසුවන අඩුම මාර්ග තදබදයක් සහිත රටවල් ලෙස වාර්‌තා වේ.
මෙම රථ වාහන දර්ශකය සකස් කිරීමේදී ගමනාගමනය සඳහා ගතවන කාලය, තදබදය හේතුවෙන් ඇතිවන අප්‍රසාදය, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සහ රථවාහන පද්ධතියේ අකාර්‌යක්ෂමතාව වැනි සාධක සැලකිල්ලට ගෙන තිබේ. ගමනක් සඳහා වැයවන කාලය සහ ඒ සඳහා වැයවන ඉන්ධන ප්‍රමාණය ද මෙම දත්ත සමූහය සැකසීමේදී මූලික සාධක ලෙස යොදාගෙන ඇති අතර, එමගින් නගරයක පවතින සමස්ත රථවාහන තත්ත්වය පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් සපයයි.
















