කන්දකුලිය ප්‍රදේශයේ ස්ථාපිත පොලිස් ක්ෂණීක විහිදුම් බළකා ඒකකය විසින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු එම ඒකකයේ රඳවා සිටියදී, මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින් ගැනුම්කරුවන් 76 දෙනෙකුගෙන් ඔහුට දුරකථන ඇමතුම් ලැබී ඇති බව පොලිසිය පවසයි.කන්දකුලිය, රෙඩ්බානාවල පදිංචිකරුවෙකි. මොහු කල්පිටිය ඇතුළු ප්‍රදේශ රැසකට යතුරුපැදියකින් ගමන් කරමින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකි.පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත, පොලිස් ක්ෂණීක විහිදුම් බළකා ඒකකය විසින් ලද බුද්ධි තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් බාරයට ගෙන ඇත. සැකකරු මීට පෙරද විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කර ඇති අයෙකි. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු කල්පිටිය පොලිසිය වෙත භාර දී ඇති අතර, ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















