ගම්පොළ නගරයේ පිහිටි බෞද්ධ විද්‍යාලය භූමියේ ආපනශාලාවේ අප ජලය බැහැර කිරීම සඳහා වලක් කැපීමේදී, වසර විස්සකට වඩා පැරණි භූගත විශාල කාමරයක් හමුවීමේ සිදුවීමක් වාර්තා වේ.ඩෙංගු මර්දන වැඩසටහනක් යටතේ පාසල් භූමිය පිරිසිදු කරන අතරතුර, ආපනශාලාවේ අප ජලය බැහැර කිරීමට වලක් කපා ඇත. අඩි එකහමාරක් දෙකක් පමණ වල කැපීමේදී සිමෙන්ති කොන්ක්‍රීට් තට්ටුවක් හමුවී ඇති අතර, එය පැරණි අප ජල පද්ධතියක් යැයි සිතා පාසල් පාර්ශවය එම වල තුළට අප ජලය බැහැර කිරීමට කටයුතු කර ඇත.පසුව පාසල් වැට මායිමෙන් පිටත නිවසක කාන්තාවක් පැමිණ පවසා ඇත්තේ, තමන්ට අයත් කාමර කොටසකට පාසලේ එම නළය මගින් අප ජලය ගලා එන බවයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසල් විදුහල්පතිවරයා විසින් ගම්පොළ පොලිසියට සහ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.
















