මීගමුව බන්ධනාගාරය තුළදී බන්ධනාගාර හදිසි උපක්රමික බළකායේ නිලධාරීන් අටදෙනකු අමානුෂික ලෙස වධහිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර රැඳවියන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කටයුතු සූදානම් කර තිබේ.
මෙම සාහසික අපරාධයට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන රැඳවියන් 75 දෙනකුගේ පමණ අනන්‍යතාවන් සහ තොරතුරු මේ වනවිටත් අනාවරණය කරගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
වැඩබලන පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සඳහන් කළේ, සැකකරුවන් හඳුනා ගැනීම සඳහා සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි සියලුම රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බවයි. විමර්ශන කටයුතු ශක්තිමත් කිරීම සඳහා බන්ධනාගාරය තුළ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ දර්ශන ඇතුළත් ඩී.වී.ආර්. (DVR) යන්ත්‍ර සොයා බන්ධනාගාර පරිශ්‍රය දැඩි සෝදිසියකට ලක් කෙරෙමින් පවතී.
මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, මෙම නිලධාරීන් ඉතා කෲර ලෙස වධහිංසාවට ලක්ව මියගොස් ඇති බව තහවුරු වී ඇත. ඇතැම් නිලධාරීන්ගේ හිස මතට විශාල ගල් අතහැර හිස්කබල් පොඩි කර දැමීමටත්, තවත් පිරිසකට අමානුෂික ලෙස වධහිංසා පමුණුවා තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අදාළ සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව, ඔවුන් නිල වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටී.
















