දෙරටේ නැගෙනහිර වෙරළ තීරයේ දේශසීමා ආසන්නයේදී අතුරුදන් වූ දකුණු කොරියානු නාවික නිලධාරියෙකු සෙවීමේ කටයුතු සඳහා උතුරු කොරියාවේ සහාය ලබා ගැනීමට දකුණු කොරියාව පියවර ගෙන තිබේ.
අද (12) වෙරළාරක්ෂක රාජකාරිවල නිරතව සිටියදී මෙම නිලධාරියා අතුරුදන් වී ඇති අතර, ප්‍රබල දියවැල් හේතුවෙන් ඔහු උතුරු කොරියානු මුහුදු සීමාවට ගසාගෙන යාමේ හැකියාවක් පවතින බව දකුණු කොරියානු බලධාරීන් පවසයි. දෙරට අතර සෘජු සන්නිවේදන මාර්ග ක්‍රියාත්මක නොවීම නිසා, මෙම ඉල්ලීම මාධ්‍ය හරහා ප්යොන්යෑන්ග් පාලනය වෙත යොමු කිරීමට දකුණු කොරියාව කටයුතු කර ඇත.
“අපගේ නාවික හමුදාව මේ වන විටත් අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරතව සිටිනවා. මානුෂීය පදනමක් මත ඔහුව සෙවීමට සහ නැවත භාරදීමට සහයෝගය දක්වන ලෙස අප උතුරු කොරියාවෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් දකුණු කොරියානු බලධාරීන් නිකුත් කළ පණිවිඩයේ දැක්වේ.
කෙසේ වෙතත්, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. මෑත කාලීනව උතුරු කොරියාව විසින් දකුණු කොරියාව නිල වශයෙන් “සතුරු රාජ්‍යයක්” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, දෙරට අතර පවතින නොසන්සුන්තා හේතුවෙන් මෙම සෙවීමේ කටයුතු අභියෝගාත්මක වී තිබේ.
















