ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) ප්‍රකාශ කළේ, පවතින ගැටුම්කාරී වාතාවරණය මධ්‍යයේ වුවද හෝර්මුස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා විවෘතව පවතින බවයි. NBC නාලිකාවේ ‘Meet the Press’ වැඩසටහන සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින සතුරුකම් හේතුවෙන් ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන මෙම සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව පිළිබඳව ලෝක අවධානය යොමුව තිබේ.
එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් ද තහවුරු කර ඇත්තේ ඉරානය විසින් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවට කරන ප්‍රකාශ අභියෝගයට ලක් කරමින්, එම ජල මාර්ගය සියලු නෞකා සඳහා විවෘත බවත්, ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බවත්ය.
පසුගිය සතියේ ඇමෙරිකාව විසින් ඉරාන ඉලක්ක 140ක් වෙත ප්‍රහාර එල්ල කරනු ලැබුවේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වෙළෙඳ නෞකාවකට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙනි.
කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ තමන් එම සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවයි. මේ වන විට කලාපයේ නාවික ආරක්ෂක තර්ජන මට්ටම දරුණු ලෙස නම් කර ඇති අතර, සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා දකුණු දිශාවේ විකල්ප මාර්ගයක් භාවිතා කරන ලෙස දැනුම් දී තිබේ.
















