යුක්‍රේන අගමැතිනි යුලියා ස්විරිඩෙන්කෝ වසරක ධුර කාලයකින් පසු සිය ධුරයෙන් ඉවත් කරන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අද (12) නිවේදනය කළේය. අගමැතිනියගේ ඉල්ලා අස්වීමත් සමඟ සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇත.
ජනාධිපතිවරයා මෙම වෙනස සිදු කරන්නේ “යාවත්කාලීන කරන ලද දේශපාලන උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීම සඳහා” බව පැවසුවද, ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබා දුන්නේ නැත. ස්විරිඩෙන්කෝගේ මීළඟ වගකීම හෝ නව අගමැතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව ද ඔහු මෙතෙක් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත්, ඇය ප්‍රධාන හවුල්කාර රටක් සමඟ නව සහ වැදගත් සබඳතා ක්ෂේත්‍රයකට නායකත්වය දෙනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. වාර්තා වන පරිදි ඇය ඇමරිකා එක්සත් ජනපදයේ යුක්‍රේන තානාපතිනිය ලෙස පත්වීමට ඉඩ ඇත.
එමෙන්ම, නීතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රධානීන්ගේ ද වෙනස්කම් සිදු කිරීමට සෙලෙන්ස්කි සැලසුම් කර තිබේ. පසුගිය වසරේ ඇති වූ දැවැන්ත දූෂණ අපවාදයක් හේතුවෙන් රජය කෙරෙහි පීඩනයක් එල්ල වී තිබූ පසුබිමක මෙම නව වෙනස්කම් සිදු කෙරේ.
පාර්ලිමේන්තු නීතියට අනුව, අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ. මීළඟ අගමැතිවරයා ලෙස බලශක්ති අමාත්‍ය ඩෙනිස් ෂ්මිහාල්, ආරක්ෂක අමාත්‍ය මිහයිලෝ ෆෙඩෝරොව් හෝ නාෆ්ටෝගාස් සමාගමේ ප්‍රධානී සර්හී කොරෙට්ස්කිගේ නම් යෝජනා වී ඇත. ඉන් සර්හී කොරෙට්ස්කි අගමැති ධුරයට පත්වීමේ වැඩි ඉඩක් පවතින බව විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙති.
















